233 වන බලසේනාවේ සහයෝගය ඇතිව ළමා නිවාසයේ නේවාසික ළමුන්ට පාසල් උපකරණ සහ නව උද්‍යානයක්

ජනවාරී 13, 2019

නැගෙනහිර, වාකරේ ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනාවේ භට පිරිස් මහරගම ටී.එන්. විජේතුංග මහතාගේ සහයෝගීත්වය ඇතිව බදාදා (02) දින කදිරවේලි පිහිටි තිලකවතියර් කාන්තා ළමා නිවාසයේ නේවාසික ළමුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදාදුන්හ.

රුපියල් 50,000 ක පමණ වටිනාකමින් යුත් පාසල් උපකරණ තොගය පරිත්‍යාගශීලින් සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් සමරසිරි ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී බෙදාදෙන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගයක් ලබාදීමේ අරමුණින් මෙම ප්‍රජා සුභසාධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ළමා නිවාසයේ නේවාසික ගැහැණු ළමුන් සහ තනි මාපිය රැකවරණය යටතේ සිටින මූල්‍යමය දුෂ්කරතා මධ්‍යායේ අධ්‍යාපනය හදාරණු ලබන දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පාසල් උපකරණ හා පොත් ප්‍රදානය කළහ.

එමෙන්ම, බලධාරීන්ගේ ඉල්ලීම මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 23 වන සේනාංකයේ උපදෙස් මත 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් සමරසිරි ගේ මඟපෙන්වීම මත මාන්කර්නී දේවස්ථානය අසල කුඩා ළමුන් සඳහා සිඟිති උද්‍යානයක් ඉදිකළහ.

මෙම උද්‍යානය ළමුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය සහ පෞරුෂ සංවර්ධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකරන ලදී.

මෙම උද්‍යානය සෙනසුරාදා (05) දින 233 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කර දේවස්ථානයේ බලධාරීන් වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ළමුන් සහ දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය