ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය හඳුන්වා දෙයි

ජනවාරී 14, 2019

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CRD) මූලිකත්වයෙන් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණයක් මල්පල ගන්වමින් ප්‍රථම වරට මෙරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය (Ballistic Rubber) පසුගිය බදාදා (ජනවාරි 9) දින යුද්ධ හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ඉදිරිපත් කරනු ලැබු බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට අනූයුක්තව සේවය කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එන්. ඒ. බී. එම්. එස්. නිශ්ශංක විසින් මෙම නව නිෂ්පාදනය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම බැලස්ටික් රබර් නියැදිය මාස 6 කට වැඩි කාලයක් පුරා අඛණ්ඩව සිදු කළ පර්යේෂණ මාලාවක ප්‍රථිපලයක් වන අතර මෙහි ගුණාත්මකභාවය සහ රදාපැවැත්ම ඉහල මට්ටමකට ගෙන ඒම සඳහා අඛණ්ඩව පුරා මාස 5 ක් පමණ කාලයක් විවිධ පරීක්‍ෂා කිරීම් ගණනාවක් සිදුකර ඇත. මෙම බැලස්ටික් නිෂ්පාදනය ගෘහස්ථ වෙඩි පිටි සඳහා හඳුන්වාදීමේ අරමුණින් වවුනියාවේ පිහිටි 3 වන විශේෂ බලකා මූලස්ථාන ගෘහස්ථ වෙඩි පිටියේදි මෙහි පළමු පරීක්‍ෂණය සිදුකිරීමට අපේක්‍ෂිත අතර, නුඳුරු අනාගතයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට ද හදුන්වාදීමට නියමිතය. මෙය දේශීයව නිෂ්පාදනය කිරීම තුලින් විදේශීය රටවල් වෙත ඇදී යන සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ.