යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යාධාර සහ පාසල් උපකරණ ප්‍රදානයක්

ජනවාරී 15, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරු දැරියන් 701 දෙනෙකු වෙත රුපියල් මිලියන 14.2 ක් පමණ වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණක, පාසල් උපකරණ, ශිෂ්‍යාධාර සහ පදක්කම් ප්‍රදානය කිරීම පසුගිය සිකුරාදා (ජනවාරි 11) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුභසාධන ව්‍යාපෘතියක් ලෙස මෙවර ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අධ්‍යාපනය හදාරණු ලබන දරු දැරියන් දිරිගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අධ්‍යාපනය හදාරණු ලබන දරු දැරියන් දිරිගැන්වීමේ අරමුණින් පවත්වන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී විය.

මෙම ව්‍යාපෘතියේ දී පසුගිය වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස (සා/පෙළ) විභාගය සහ අපොස (උ/පෙළ) විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබීමට සුදුසුකම් ලැබු සිසුන් වෙත පාසල් උපකරණ සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කළහ.

ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් 248 දෙනෙකු වෙත පාසල් බෑග් සමඟින් රුපියල් 15.000/= බැගින් ශිෂ්‍යත්ව, අපොස (සා/පෙළ) විභාගය ඉහලින් සමත්වූ සිසුන් 418 දෙනෙකු සඳහා ඔවුන් පෙන්වන ලද දක්ෂතාවය පරිදි රුපියල් 25,000/=, රුපියල් 20,000/= සහ රුපියල් 15,000/= බැගින් ශිෂ්‍යත්ව මෙහිදි ප්‍රදානය කළහ. තවද අපොස (උ/පෙළ) විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවිෂ්ඨය ලැබූ සිසුන් 35 දෙනෙකු වෙත රන් පදක්කම් සමගින් රුපියල් 50,000/= බැගින් ශිෂ්‍යත්ව ද මෙම උත්සවය අතරතුර දී ප්‍රදානය කළහ.

මීට අමතරව, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පි.එස්.සී උපාධි පාඨමාලාව හැදෑරීමට සුදුසුකම්ලත් නිලධාරීන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා නව ලැප්ටොප් පරිගණක 10 ක් ද මෙහිදි ප්‍රදානය කරන ලදී.

එමෙන්ම, මෙම උත්සවයේ දී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිනිය විසින් ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රවණ පරීක්‍ෂණ යන්ත්‍රයක්, අක්‍ෂි පරීක්‍ෂණ යන්ත්‍රයක් සහ භෞත චිකිත්සක උපකරණයක් එම කේන්ද්‍රය වෙත ප්‍රදානය කළහ.

මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායක සහ අනුග්‍රාහක ආයතන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.