උතුරු ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් නිදහස් කිරීමට සුදානම්

ජනවාරී 16, 2019

(මාධ්‍ය නිවේදනය)

ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි උතුරේ සහ මූලතිව් දිස්ත්‍රික්කයේ දී සඳුදා (21) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයන්හිදී නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කිරීමට නියමිතය.

ඒ අනුව, කිලිනොච්චි ප්‍රදේශයේ රාජ්‍ය ඉඩම් අක්කර 972 ක් සහ මූලතිව් ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන ගිය ඉඩම් අක්කර 120 ක ගොවිපල මෙලෙස නිදහස් කිරීමට නියමිතය. තවද යාපනය සහ වන්නි ප්‍රදේශයේ රාජ්‍ය ඉඩම් අක්කර 46.11 ක් මෙන්ම යාපනය සහ වන්නි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 63.77 ක් මෙලෙස මූලතිව් හිදී පැවැත්වෙන උත්සවයේ දී නිදහස් කිරීමට නියමිතය.

මෙම උත්සවයේ දී මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ඉඩම් දේපළ හා භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය ඇතිව නච්චිකුඩා, වේලන්කුලම් සහ උදයාරන්කට්ටුකුලම් යුද්ධ හමුදා ගොවිපලවල් පිහිටි ඉඩම් ඇතුළු ඉඩම් අක්කර 1201.88 ක් මෙලෙස නිදහස් කරනු ලබයි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිවිල් වැසියන්ට අයත් උතුරු සහ නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරේ සිට ආරම්භ විය. අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊට ප්‍රතිචාර ලෙස මෙලෙස තවදුරටත් ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබයි. (නිමාව)

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය