උතුරු ප්‍රදේශයේ සිසුන්ට අධ්‍යාපනික ආධාර

ජනවාරී 24, 2019

උතුරු ප්‍රදේශයේ මෑතදී ඇතිවූ ගංවතුර හේතුවෙන් පිඩාවට පත් වූ පාසල් සිසුන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ සහ පොත් පත් විශාල ප්‍රමාණයක් පසුගියදා බෙදා දෙන ලදී. ආරක්‍ෂක අමාත්‍යංශයේ ‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතිය සහ ඩයලොග් ආසියාටා සමාගම එකාබද්ධව කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය, කිලිනොච්චි හින්දු විද්‍යාලය, පනින්කඩ්ඩි රජයේ මිශ්‍ර විද්‍යාලය, භාරති හින්දු විද්‍යාලය, පුනනරාවි මිශ්‍ර පාසල, ශාන්ත අන්තෝනි විද්‍යාලය, මුරුසුමොඩේයි දකුණු මිශ්‍ර පාසල සහ මයවනුර් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 2280 ක් වෙත මෙම පාසල් උපකරණ තොගයක් සඳුදා (ජනවාරි 21) දින බෙදාදෙන ලදී. මේ සඳහා උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් පහසුකම් සලසන ලදී.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් අඩපන වූ උතුරු පළාත් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නැවත නගාසිටුවීමේ අරමුණින් මෙම අධ්‍යාපනික ආධාරය ලබා දෙන ලදී.

මේ අතර, එදිනම පෞත්ගලික ධානපතියකුගේ ධන පරිත්‍යාගයෙන්, ප්‍රදේශයේ හි හමුදා භටපිරිස්හි සම්බන්ධිකරණයෙන් ධර්මපුරම් ගම්මානයේ ගංවතුරෙන් පීඩාවට පත්වූ පවුල් 100 ක් සඳහා අත්‍යාවශය ද්‍රව්‍ය අඩංගු වියලි සළාක මලු තොගයක් බෙදාදෙන ලදී.

එමෙන්ම මෙවැනිම වැඩසටහනකදී දකුණේ පාසල් සිසුන් විසින් උතුරේ පාසල් සිසුන් වෙත පරිත්‍යාග කරන ලද පාසල් උපකරණ තොගයක් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ දී බෙදාදෙන ලදී.

මෙහිදී මූලතිව් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වල පාසල් සිසුන් 220 දෙනෙකු සඳහා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පාසල් සිසුන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

මීට සමගාමීව, යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම ප්‍රදේශයේ පාසල් හතරක සිසුන් සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අඩංගු පාර්සල් 250ක් ප්‍රදානය කිරීම සෙනසුරාදා (ජනවාරි 19) දින සිදුවිය.