යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද නිවාස දෙකක් හිමිකරුවන් වෙත භාර දෙයි

අප්‍රේල් 27, 2020

විදේස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් සපයන ලද අනුග්‍රාහකත්වය මත වන්නි හමුදා සාමාජිකයින් විසින් අසරණ පවුල් දෙකක් සඳහා ඉදිකරන ලද නව නිවාස දෙකක් සිකුරාදා (අප්‍රේල් 24) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.

පළමු නිවස තන්තිරිමලේ ඇත්දත්කල්ල ප්‍රදේශයේ වෙසෙන සිව්දරු  පියෙකු වන කේ. ඩී. නන්දසේන වෙත ලබා දෙන ලදී.

තිදරු පියෙකු වන තන්තිරිමලය මැදවච්චිය ප්‍රදේශයේ ඩී.කේ. දිනේෂ් කුමාර වෙත දෙවන නිවස ලබාදෙන ලදී.

212 බලසේනාධිපති කර්නල් අනිල් පීරිස්ගේ පෞද්ගලික සබදතාවයක් මත ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතියන් වන ජගත් ගුණසේකර සහ ශාන්ත කුමාරගමගේ වෙත සිදු කල ආරාධනාවකට අනුව  නිවාස අවශ්‍යතා ඇති පවුල්වලට නිවාස ඉදිකිරිම සඳහා ඔවුන් විසින් ආධාර ලබාදී ඇත.

212 වන බලසේනාවට අනියුක්ත 5 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ගේ අධීක්ෂණය යටතේ මෙම නිවෙස් වල ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.

මෙම නිවෙස් අදාළ පවුල් දෙක වෙත භාරදීමේ අවස්ථාව සදහා මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, කර්නල් අනිල් පීරිස්, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ  සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 21 වන සේනාංකයේ සහ 212 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරින්, 5 වන ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි යන අය සහභාගී වුහ.