කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ පළමු නාවිකයා IDH රෝහලෙන් පිටව යයි

මැයි 04, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූ පළමු නාවිකයා ඊයේ (මැයි 3) දින ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිට විය.
 
රත්නපුර රෝහලේදී සිදුකරන ලද PCR පරීක්ෂණයකින් පසුව කොරෝනා වෛරසය ආසාදිත බවට නිරීක්ෂණය වූ මෙම නාවිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අප්‍රේල් 25 වන දින ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කරන ලදී. ඔහු නිවාඩු ලබා සිටියදී වෛරසය ආසාදිත බව තහවුරු විය.

වරින් වර අවස්ථා තුනකදී සිදු කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ, ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව මෙම ආසාදිත නාවිකයා සම්පුර්ණ සුවය ලබා ඇති බවයි.

වෛද්‍ය උපදෙස් අනුව, සම්පූර්ණ සුවය ලැබූ නාවිකයාට දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය වන ලෙස  නියම කර ඇත. ඔහු නිවාඩු ලබා සිටියදී ඇසුරු කළ අයද බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන ක්‍රියාවලියට යොමු කර සිටී.