නිරෝධායන වූ පුද්ගලයින් 46 දෙනෙකු වැලිසර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටවෙයි

මැයි 05, 2020

වැලිසර ශ්වසන රෝග පිළිබද  ජාතික රෝහලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කරන ලද  නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කරන ලද සිවිල් වැසියන් 46 දෙනෙකු අද (මැයි 5) දින පිටත් කර යවන  ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි රෝහලේ වාට්ටු අංක 11 සහ 12 ප්‍රතිසංස්කරණය කර  නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගෙන ඇත.

රෝහල්  අණදෙන නිලධාරී  ගෲප් කැප්ටන්  (වෛද්‍ය) පී ඒ වී පද්මපෙරුමගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල විසින් සහ ඒකල පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය  පුහුණු පාසලේ සැපයුම් හා නඩත්තු අංශයේ සහයෝගයෙන්  නිරෝධායන කාර්යයන්  කළමනාකරණය කරන ලදී.

මෙම මධ්‍යස්ථානය භාරව ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය නිලධාරි, ෆ්ලයින් ඔෆිසර් (වෛද්‍ය) දිලුෂ්ක ජයකොඩි සමඟ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනෙකු, සීබීආර්එන්ඊ නිලධාරීන් තිදෙනෙකුගෙන්  සහ ඒකල පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු පාසලේ වෘත්තිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනය කරන ලද පිරිස  අප්‍රේල්  20 වන දින නිරෝධායනය සඳහා යොමු කරන ලද අතර ඔවුන් කොළඹ ග්‍රෑන්ඩ්පාස්, බණ්ඩාරනායක මාවත ප්‍රදේශ වල සහ වැලිසර  රෝහලේ  සුළු කාර්ය මණ්ඩලයට  අයත් පුද්ගලයන් වේ .