රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන පියවර ගැන ජනාධිපති රාජපක්ෂ උපදෙස් දෙයි

මැයි 12, 2020

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබාගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩකළ යුතුව ඇතැයි COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අවධාරණය කරයි.    

සාමාන්‍ය ජන ජීවිතය තුල ආර්ථික පුනර්ජීවනයේ අවශ්‍යතාවය, වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාව, පාසල් විවෘත කිරීමේ හැකියාව හා පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කිරීම,  පාලනයක් සහිතව විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් ගෙන්වා ගැනීම, නීති විරෝධි මත්පැන් භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු, ඇඳිරි නිතිය හේතුවෙන් නිවාසවල රැඳී සිටීම නිසා ජනතාවට ඇතිවිය හැකි මානසික හා සෞඛ්‍ය ගැටලු යන කාරනා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් බලධාරීන්ගේ සාකච්ඡාවට ලක් කෙරිණ.    

ජීව දත්ත ගබඩා කිරීම සහ විදේශ ගමන් බලපත්‍ර සහ පිරිස් ලියාපදිංචි කිරීමේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රටේ කෘෂි අස්වැන්න සුරැකීම සඳහා තාක්‍ෂණික කළමනාකරණ ක්‍රියාවලියක් සමාලෝචනය කරන ලෙසද ජනාධිපති කාර්ය සාධක බලකායට පැවසීය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අමාත්‍යාංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ, ආයෝජන මණ්ඩයේ සහ වරාය අධිකාරියේ නිලධාරින් සහභාගී වූහ.