ඊසාන දිග මුහුදු ප්‍රදේශයේ ඇති විය හැකි සුළි කුණාටු තත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකීය ධීවරයින්ට අනතුරු අඟවයි

මැයි 17, 2020

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 17) දින උදෑසන නිකුත් කල කාලගුණ අනාවැකියේ ධීවර ප්‍රජාවන් වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු බවට අනතුරු ඇගවීමක් කර ඇත.

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වූ දැඩි අවපීඩන තත්වය නිසා ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 610 ක් පමණ දුරින් “අම්ෆන්” නම් සුළි කුණාටුවක් ඇති වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 12 තුළ එය තවදුරටත් වර්ධනය වී පසු දින (මැයි 18) චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවයි.
කාලගුණ අනාවැකි අනුව, දිවයින අවට මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි අතර පුත්තලම් සිට පොත්තුවිල්,ගාල්ල හරහා හම්බන්තොට දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශය වරින් වර රළු හෝ ඉතා රළු වනු ඇත.