රටවල් 143 ක සිටි ශ්‍රී ලාංකිකයන් 38,983 දෙනෙකු ආපසු මෙරටට පැමිණීමට සහාය පතයි

මැයි 17, 2020

රටවල් 143 ක සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 38,983 කට වැඩි පිරිසක් කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ආපසු සිය රට බලා යාමට සහාය ඉල්ලා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය අද (මැයි 17) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා සංක්‍රමණික ශ්‍රමිකයින්, ශිෂ්‍යයින් සහ විදේශයන්හි කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් නැවත සිය රට බලා යාමට කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින්  විසින් මාර්තු 26 වන දින ‘ශ්‍රී ලංකාව අමතන්න’මාර්ගගත ද්වාරය දියත් කරන ලදී.මෙම මාර්ගගත ද්වාරය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සියෙහි (ICTA) සහාය ඇතිව දියත් කරන ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශයට අනුව සිසු සිසුවියන් 3,078 ක්, කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 ක්, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ද මීට ඇතුළත් වන අතර ඔවුන් නැවත මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කර ඇත.

මේ අතර, අපේ‍්‍රල් 21 වනදා සිට රටවල් 15 කින් විදෙස්ගතවී සිටි ශ්‍රීලාංකිකයින් 3600 ක් පමණ ආපසු මෙරටට ගෙන්වාගෙන  ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.