රණවිරු සැමරුමට සියල්ල සූදානම්

මැයි 18, 2020

මව්බිම එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදවා තිරසාර සාමයක් ඇති කිරීම සඳහා     සටන් කළ නිර්භීත රණවිරුවන් හෙට (මැයි 19) දින සැමරීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබේ.

මෙම  ජාතික උත්සවය සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන අතර, මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍යතුමන්, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් (Admiral of the Fleet), ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති,රාජ්‍ය නිලධාරින් සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වේ.

උත්සව දින වැඩසටහනේදී ජාතික ගීය ගායනා කිරීම, රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, රණවිරුවන් සිහිකිරීමේ පාඨය කියවීම, ආගමික වතාවත් සිදු කිරිම, ‘රණබෙර’ වාදනය කිරීම, මළවුන් සිහිකිරීමේ සරඹය, ජනපතිතුමන්ගේ කථාව, රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සහ උඩු ගුවනේ සිට මල් ඉසීම සිදුකෙරේ.

අනුස්මරණ උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උසස්වීම් සඳහා සුදුසුකම් ලබා ඇති සෙසු නිලයන් 14,617 ඊළඟ නිලයට උසස් කරනු ලැබේ.