වන්නි හි නවතමයෙන් ඉදිකරන ලද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය පුහුණු අධිකාරියට භාර දෙයි

ජුලි 19, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් පූවරසංකුලම් ප්‍රදේශයේ ඉදිකරන ලද නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය පුහුණු අධිකාරිය වෙත සඳුදා (ජූලි 15) දින භාර දෙන ලදී. සංහිදියා යාන්ත්‍රණ පිලිබද සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCRM) විසින් මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති අතර ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාව විසින් සිදුකරන ලද බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු පසුගිය වසරේ (2018) දෙසැම්බර් මස අගදී ආරම්භ විය. මෙම තෘතීයික පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මෙහෙයවූ වන්නි ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල මේ වසරේ (2019) ජනවාරි මැද භාගය වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සමත් විය.

මෙම පුහුණු මධ්‍යස්ථානය වන්නි ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ (RTS) අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කේ.කේ.ඒ.කේ කලුආරච්චි විසින් වවුනියාව වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. කනගසුන්දරම් මහතා වෙත පැවති කෙටි උත්සවයකදී භාර දෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.