එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරේ

පෙබරවාරි 08, 2019

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ බ්‍රහස්පතින්දා (පෙබරවාරි 07) දින සිදුකරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඒ අනුව දිවිපිදු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම ගේ සහ තලකොලවැව, පොල්පතිගම ප්‍රදේශයේ පදිංචි 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල සැරයන් එස්.එස්. විජේකුමාර යන විරුවන්ගේ අවසන් කටයුතු, පිලිවෙලින් පොළොන්නරුව අභයපුර පොදු සුසාන භූමියේ දී සහ රාව ඇල පොදු සුසාන භූමියේ දී ඊයේ සන්ධ්‍යාවේ දී සිදු කෙරිණි.

චාරිත්‍රනුකූලව ආගමික වතාවත් සිදුකරමින් පාංශුකූලය ලබාදීමෙන් අනතුරුව ලෝක සාමය වෙනුවෙන් සිය ජීවිතය කැපකළ රණවිරුවන් දෙදෙනාගේම දේහයන් වෙත පූර්ණ හමුදා ගෞරවය පිරිනමන ලදී. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පොල්පිතිගම ප්‍රදේශයේ දී සිදුකල සැරයන් විජේකුමාර විරුවාගේ අවසන් කටයුතු වලට සහභාගී වීමෙන් අනතුරුව පොළොන්නරුවේ දී සිදුකල මේජර් ජයවික්‍රම විරුවාගේ අවසන් කටයුතු වලට සහභාගී විය.

හමුදා සම්ප්‍රදායානුකුලව, දිවිපිදු මේජර් ජයවික්‍රම වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් ප්‍රකාශ කල අතර දිවිපිදු සැරයන් විජේකුමාර වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ නියෝග I අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් ඩබ්ලිව්.ඩි.එස් ගමගේ විසින් ප්‍රකාශ කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් අතිගුරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, මාලි ජනරජයේ අතිගරු ජනාධිපති ඊබ්රාහිම් බුබකාර් කීටා (Ibrahim Boubacar Keïta), ගරු කථානායක තුමන්, එක්සත් ජාතින්ගේ මහලේකම්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති, එක්සත් ජාතින්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ බලධාරීන් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර ආයතන කිහිපයක්ම මෙම අවමංගල්‍යයන් වෙනුවෙන් සිය ශෝක පණිවිඩ නිකුත් කර ඇත.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නිරත වී සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් රැගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී පසුගිය මස 25 වන දින අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්ව කපිතාන් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එස්. විජේකුමාර ජිවිතක්‍ෂයට පත්වූහ. ඔවුන්ගේ දේහයන් පසුගිය සඳුදා (පෙබරවාරි 04) දිවයිනට රැගෙන එන ලදී. තවද, මෙම ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ තවත් යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු මාලි රාජ්‍යයේ ගාඕ නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙසේ දිවිපිදු හමුදා සාමාජිකයන් දෙදෙනා පිලිවෙලින් ඔවුන්ගේ ඊළඟ නිල වන මේජර් හා සැරයන් යන නිලයන් වෙත උසස් කරන ලදී.

ජේෂ්ඨ හමුදා නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම රණවිරුවන් දෙදෙනාගේ අවමංගල්‍ය උත්සව අවස්තාව සඳහා සහභාගි වූහ.