රු. මිලියන 490 ක් වටිනා මත්ද්‍රව්‍ය මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජුනි 19, 2020

පාතාල අපරාධකරුවෙකු වන සිංහාර අමල්  නොහොත් ‘කුඩු අංජු’ විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය වළල්ලක නීතිවිරෝධී මුදල් ගනුදෙනු සඳහා අතරමැදියෙකු යැයි කියා ගත් පුද්ගලයෙකු බදාදා (ජූනි 17) දින බස්නාහිර පළාත් (දකුණු දිශාව ) අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුට රු. මිලියන 490 මුදලක් ඔහුගේ බැංකු ගිණුම හරහා ගනදෙනු කර ඇත.

රත්මලාන  හි දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරුට ඔහුගේ නම යටතේ පිලියන්දල සහ බුත්තල  යන ප්‍රදේශයන්හි  ලිපිනයන් දෙකක් ඇති බවයි.

කුඩු අංජුගේ හෙරොයින් ජාලයේ සමීප මිතුරෙකු බව කියනු ලබන විදෙස්ගතව සිටින ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මේගේ උපදෙස් මත බැංකු ගිණුමක් ආරම්භ කළ බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.

හෙරොයින් ගනුදෙනු මගින් උපයා ගත් මුදල් තැන්පත් කිරීමට සහ අන්තර්ජාල ගනුදෙනු කිරීමට බැංකු ගිණුම භාවිතා කළ බව සැකකරු අනාවරණය කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු බොහෝ දුරට සම්බන්ධීකරණය කරනු ලබන්නේ ‘ඉමෝ’ ඇමතුම් හරහා වන අතර, මෑතකදී මොරටුව  සොයිසපුර අවන්හලක දී වෙඩි තැබීමේ සිද්ධියට ‘කුඩු අංජු’ සහ ‘ධර්මේ’ ද සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.

බස්නාහිර පළාතේ (දකුණු) අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සියලු ප්‍රජාවන්ට නිදහස්, සුරක්‍ෂිත හා සාධාරණ සමාජයක් සහතික කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේදැක්ම අනුව යළිත් වරක් මත්ද්‍රව්‍ය වෙළඳාම, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය මෙහෙයුම්  තීව්‍ර කර තිබේ.