උතුරේ හා දකුණේ සිසුන් සඳහා යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භට පිරිස් විසින් දින තුනක පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

පෙබරවාරි 13, 2019

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද එම ප්‍රදේශයේ පාසල් 30 ක සිසුන් 750 දෙනෙකු සහ දකුණ නියෝජනය කරමින් පාසල් සිසුන් 200 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් දින තුනක් පුරා යාපනය දොරේඅප්පා ක්‍රිඩාංගනයේදී පසුගියදා පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.

මෙම පුහුණු වැඩසටහන සංහිඳියාව හා සහජීවනය ශක්තිමත් කිරීමේ අරමුණින් යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් සංවිධානය කර ඇත.

මෙමගින් පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් සහ බටහිර තූර්යවාදන කණ්ඩායම් සඳහා ඔවුන්ට අදාළ විෂයයන් පිළිබඳව න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම සිදුකරන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීම මත මෙම පුහුණු වැඩසටහන සඳහා උපදෙස් හා සහය ජාතික ශිෂ්‍යභට බලකායේ උපදේශකවරුන්ගෙන් ලැබුණු අතර ඒ සඳහා උතුර හා දකුණ නියෝජනය කරමින් සිසුන් සිය ගණනක් සහභාගී වූහ.

මෙම වැඩසටහනේ අවසන් අවස්ථාව සෙනසුරාදා (පෙබරවාරි 9) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආරාධනය මත පැමිණි විශාල ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර විශිෂ්ඨ තූර්ය වාදක සංදර්ශනයකින් අවසන් විය.

මේ අතර, මුලතිව් ප්‍රදේශයේ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩීකාවන් සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු වොලිබෝල් පුහුණු කඳවුරක් පසුගියදා ඔඩ්ඩූසුඩ්ඩාන් මහා විද්‍යාල පරිශ්‍රයේදි පැවැති බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මේ පුහුණු සැසිය සඳහා පාසල් සහ ක්‍රීඩා සාමාජ නියෝජනය කරමින් කාන්තා හා පිරිමි උපදේශකයින්, ක්‍රීඩා ගුරුවරුන් හා පුහුණු කරුවන් 300 ට වැඩි පිරිසක් සහභාගීවූ අතර මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා පුහුණු උපදේශකයින් ගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය මත පැවැත්විනි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව විශාල ප්‍රමාණයක් මෙම පුහුණු වැඩසටහන නැරඹීම සඳහා පැමීණ සිටියහ.