ආබාධිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ‘ආයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

ජුලි 18, 2019

යුද්ධ හමුදා ප්‍රජා සුභසාධන කටයුතුවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද තෙමහල් ‘ආයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අද (ජුලි 18) දින උදෑසන පැවති සරල උත්සවයකදී ශ්‍රී ලංකා ‘ආයතී’ භාරය සහ කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨය වෙත පවරා දෙනු ලැබිණි. යුද හමුදා මාධ්‍යයට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඉදිවූ මෙම නව මධ්‍යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, හේමාස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, මාස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, රොටරි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, MICD ගෘහ නිර්මාණ ශිල්පීන්, වික්‍රමසිංහ සමූහ ව්‍යාපාරය, E&Y සමාගම, මහජන බැංකුව, පීපල්ස් ලීසිං ආයතනය, සීමාසහිත ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම, බ්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම සහ යහපත් පදනමේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා ‘ආයතී’ භාරය විසින් ලබාදුන් රුපියල් මිලියන 550 ක මූල්‍යමය දායකත්වයෙන් ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථාන’ ඉදිකරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකාය මගින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මාස 13 කට අඩු කාලයක් තුලදී අවසන් කරනු ලැබිණි.

2019 දෙසැම්බර් මස සිට ආබාධ සහිත දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකල ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ශ්‍රවණ (ශ්‍රවණ විද්‍යා), කථන (භාෂා චිකිත්සා), පවුල් චිකිත්සා සහ වෙනත් ශාරීරික ආබාධ (භෞත චිකිත්සා) වැනි ආබාධ සඳහා නොමිලයේ ප්‍රතිකාර කිරීමට නියමිතය.

ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ව්‍යාපෘති ගණනාවක් සිදු කර තිබේ. මෙය යුද්ධ හමුදා සමාජිකයින්ගේ විශේෂිත හැකියාවන් සහ කුසලතාවන් උපයෝගී කර ගනිමින් ඉතා සාර්ථකව නිම කරන ලද ව්‍යාපෘතියකි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, පරිත්‍යාගශීලීන්, විශ්ව විද්‍යාල නිලධාරීන් සහ ‘ආයතී’ භාරයේ සාමාජිකයින් ද සහභාගී වූහ.