2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද දින සිට

ජුලි 13, 2020

2020 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (ජූලි 13) සිට ජූලි 17 දින දක්වා සිදුකෙරේ.  

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අත්‍යවශ්‍ය වන හෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවකයින්ට අද දින (ජුනි 13) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසේ.   

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඉහත දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අපොහොසත් වන්නන් සඳහා ජූලි 20 සහ 21 යන දිනයන්හිදී අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා ඇත.  

සමාජ දුරස්ථභාවය,  මුහුණු ආවරණ පැළදීම, අත් සේදීම වැනි COVID-19 මාර්ගෝපදේශයන්ට අනුකූලව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකෙරෙන අතර ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා නිල් හෝ කළු පෑනක් රැගෙන එන ලෙස ඡන්ද දායකයින්ට උපදෙස් ලබා දී ඇත.    

මැතිවරණ රාජකාරීන්හි යෙදෙන රාජ්‍ය නිලධාරීන්, අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන මහජන නිලධාරින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත.

2020 මහ මැතිවරණය අගෝස්තු 5 වන දින පැවැත්වීමට නියමිතය.