පිළිකා ප්‍රතිකාර සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා නාවික හමුදා සහාය

ජුලි 16, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නව පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත අතර නාවික හමුදා මාධ්‍යයට අනුව මෙම යෝජිත රෝග නිවාරණ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබිමේ උත්සවය සඳුදා (ජූලි 15) දින පැවැත්විණි.

මෙම නව වෛද්‍ය මධ්‍යස්ථානය සදහා මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා පිළිකා සංගමය සහ දානපතියන්ගෙන්ද ඉදිකිරීම් කටයුතු සදහා ශ්‍රම දායකත්වය නාවික හමුදාව විසින්ද සපයනු ලබයි. මෙහි ඉදිකිරීම් අවසන් වූ පසු දිවයින පුරා සිටින පිළිකා රෝගීන්ට මෙමගින් ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනු ඇත.

මහා සංඝ රත්නය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ, දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී විජේසුරිය, රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සාමාජිකයින් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඊයේ පැවති මුල්ගල තැබිමේ උත්සවය සදහා සහභාගී විය