කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නාවික සහ ධිවර ප්‍රජාවන්ට අනතුරු ඇඟවීම්

අගෝස්තු 05, 2020

අද දින (අගෝස්තු 5) අළුයම 5.30 ට මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු තිරය රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඉදිරි පැය 24 තුළ මුහුද රළු වීම, මුහුදු රළ ඉහල යාම සහ සුළගේ වේගය (පැ.කි.මී. 60 සිට 65 දක්වා) වැඩිවීමේ හැකියාවක් ඇති බවද එහි සඳහන් වේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය , මන්නාරම, කොළඹ , ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහල යා හැකි බැවින් (මීටර්. 2.0 – 2.5 ක් පමණ) ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද සදහන් කර ඇත.

අධික රළ පහර නිසා බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ තිරය ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස වෙරළබඩ ප්‍රදේශවල ජිවත් වන ජනතාවගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

සබරගමුව, මධ්‍යම පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලිමීටර් 75 ක් පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ වාර්තාව පවසයි.