ඊයේ දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පස් දෙනෙකු වාර්තා වෙයි

අගෝස්තු 06, 2020
  • මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,839 යි
  • සුවය ලැබූ රෝගීන් 2,537 යි

ඊයේ දින (අගෝස්තු 5) වාර්තා වූ රෝගීන් පස් දෙනෙකුද සමඟ මුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,839 දක්වා ඉහළ ගොස් තිබේ.

එක් ආසාදිත රෝගියෙකු ඉන්දියාවේ චෙන්නායි සිට ආපසු පැමිණි අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර තවත් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත මෙරටට පැමිණි අය බව වාර්තා වේ.

මීට අමතරව, එක් රෝගියෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර තවත් අයෙකු කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාදිතයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයෙකි.

මේ අතර, වාර්තා වී ඇති සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව  2,537 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ තවත් රෝගීන් 13 දෙනෙකු බදාදා දින රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් රෝගීන් 290 දෙනෙකු  තවමත් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.