බේරූට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දස දෙනෙකුට තුවාල

අගෝස්තු 07, 2020

බේරූට්හි  පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ (අගෝස්තු 06) දින පැවසීය.

ලෙබනනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ දිනපතා උදේ 8 සිට සවස 4 දක්වා මහජනතාවට විමසීම් සඳහා තානාපති කාර්යාලය විවෘතව පවතින බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති මයිකල් අවුන් වෙත ශෝකය ප්‍රකාශ කර තිබේ.

විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට අනුව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලවල හානියට පත් නිවාස අළුත්වැඩියා කරමින් පවතී.

වියළි සලාක බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් ද සකස් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5, 000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගොස් තිබේ.

ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර   උත්තරීතර ආරක්ෂක මණ්ඩලය බේරූට් නගරය  ආපදා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

අගෝස්තු 4 සිට සති දෙකක කාලයක් සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, ලෙබනනය අගෝස්තු 10 දක්වා වසා දැමීමේ තත්වයේ පවතී.