රු. මිලියන 200 ක් වටිනා ‘මැන්ඩි’ (MDMA) මත්ද්‍රව්‍ය තොගයක් අම්බලන්ගොඩදී පොලිස් අත්අඩංගුවට

අගෝස්තු 16, 2020

අම්බලන්ගොඩ, පටබැදිමුල්ල ප්‍රදේශයේ ඊයේ (අගෝස්තු 15) සවස සිදු කල විශේෂ මෙහෙයුමක් අතරතුර ගබඩා කර තිබු රු. මිලියන 200 ක් වටිනා ‘මැන්ඩි’ නම් වූ (Methylenedioxymethamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ මෙතරම් විශාල මැන්ඩි (MDMA) මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙරට තුළදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වන බවයි.

‘MDMA’ යනු නීති විරෝධී මත්ද්‍රව්‍යක් වන අතර එය එක්ස්ටසි (ecstasy) හෝ මොලී (molly) ලෙසද හැඳින්වේ. එය උත්තේජකයක් ලෙස ක්‍රියා කරන අතරම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයාට ප්‍රබල බලපෑමක් ඇති කරමින් විකෘති තත්වයට පත් කරයි.

විශේෂයෙන් රාත්‍රී සමාජශාලාවලට යන තරුණ තරුණියන් MDMA  බහුලව භාවිතා කරන බව ඔහු පැවසීය.

අම්බලන්ගොඩ විජේරාම මාවත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු අම්බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.