යාපනයේ ඉඩම් නිදහස් කිරීමක්

ජුලි 15, 2019

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පසුගිය සිකුරාදා (12) දින පලාලි ජනපදයේ පෞද්ගලික ඉඩම් අක්කර 26.4 ක් සහ රජයේ ඉඩම් අක්කරයක් පලාලි උතුරු ප්‍රදේශයේ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලට භාවිතා කිරීම සදහා නිදහස් කර ඇත. යුද්ධ හමුදා නිල වෙබ් අඩවියට අනුව නිදහස් කරන ඉඩම් සඳහා වූ නිල ලිපි ලේඛණ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා වෙත යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී භාර දී ඇත.

අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා ආණ්ඩුකාරවරයා විසින් නිදහස් කරන ලද ඉඩම් සඳහා වූ ලිපි ලේඛණ යාපනයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එස්. මුරලිදරන් මහතා වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් එස්. ශිවශ්‍රී මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ