අපරාධ මැඩපැවැත්වීමට පොලිසියට සහාය වීම සඳහා ඕස්ට්‍රේලියාව රසායනික ද්‍රව්‍ය හඳුනාගැනිමේ උපකරණ පරිත්‍යාග කරයි

අගෝස්තු 28, 2020

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු සහයෝගීතාව වැඩි දියුණු කරමින්  ඕස්ට්‍රේලියානු රජය විසින් ඊයේ (අගෝස්තු 27) ශ්‍රී ලංකා පොලීසියට රසායනික හඳුනාගැනීමේ උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

අපරාධ මැඩපැවැත්වීම සඳහා ඉදිරි පෙළේ සිටින පොලිස් නිලධාරීන්ට රසායනික ද්‍රව්‍ය හඳුනාගැනිමේ  උපකරණ  මඟින් පිටුවහලක් වනු ඇත. පොලීසිය පවසන පරිදි, අතේ ගෙන යා හැකි, ජල ආරක්ෂිත සහ ක්ෂේත්‍රයේ භාවිතය සඳහා නිර්මාණය වී තිබීම , බහාලුම් තුල තිබියදී පවා ඝන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ හැකියාව ඇති අතර පුළුල් පරාසයක උෂ්ණත්ව හා පරිසරවල ක්‍රියාත්මක වීමේ හැකියාව මෙම උපකරණ වල විශේෂත්වයන් වේ.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් රහස් පරීක්ෂක අධිකාරී ප්‍රොබ්  විල්සන් විසින්  වැඩබලන පොලිස්පති සී.ඩි වික්‍රමරත්න වෙත මෙම රසායනික ද්‍රව්‍ය හඳුනාගැනිමේ  උපකරණ බාරදෙන ලදි.

මෙම උපකරණවලට පුපුරණ ද්‍රව්‍ය, විෂ සහිත කාර්මික රසායනික ද්‍රව්‍ය, රසායනික යුධ කාරක, මත්ද්‍රව්‍ය, රසායනික පුරෝදාවක සහ සුදු පැහැති කුඩු සොයා ගැනීමේ හැකියාව ඇත.

ගෝලීය ත්‍රස්තවාදයේ තර්ජන , සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට සහාය දැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් රසායනික ද්‍රව්‍ය  හඳුනාගැනිමේ  උපකරණ පරිත්‍යාග කළේය.

පොලිසිය පවසන පරිදි මෙම පරිත්‍යාග  මගින් දෙරටේ පොලීසිය අතර සම්බන්ධතාවය ශක්තිමත් කර පොලිස් සේවාවන් දෙක  අතර මෙහෙයුම් වලදී  හවුල්කාරිත්වය සහ වෘත්තීය ප්‍රමිතීන් වැඩි දියුණු වනු ඇත.

රසායනික ද්‍රව්‍ය හඳුනාගැනිමේ  උපකරණ කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට භාවිතා කිරීම සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු පොලිසිය පශ්චාත් පිපිරුම් අපරාධ සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණ පිළිබඳ පුහුණුවක් ලබාදෙන බව ද පැවසේ.