MT New Diamond බොර තෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ - නාවික හමුදාව

සැප්තැම්බර් 06, 2020

MT New Diamond බොර තෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කළ බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්හදා බලන ලද Dry Chemical Powder (DCP) රසායනික මලු මගින් නෞකාවේ ගිනිදැල් නිකුත්වීම ඇනහිට සාර්ථක ප්‍රථිපල අත්කර දෙන ලද බවත් නාවික හමුදාව අද (6) ප්‍රකාශ කළේය.

මෙම ආපදාව වාර්ථාවූ මොහොතේ සිට පැය 79 කට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන්ගේ අඛණ්ඩ ගිනි නිවීමේ මෙහෙයුම් හමුවේ එම ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි විය.
 
නාවික හමුදාවට අනුව ,මෙම තත්වය යටතේ ඉන්දීය නාවික හමුදා සහ ආපදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ගොඩ වී එහි අභ්‍යන්තරය අධි තාක්‍ෂණික උපකරණ යොදා ගනිමින් පරීක්‍ෂා කිරීමට නියමිතය.
 
මේ වන විට නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුනද නෞකාවේ ඇතුලත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටී.
 
නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගමේ මගපෙන්වීම යටතේ මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.    
 
මෙම නෞකාව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කළාපයෙන් ඉවත්ව යන තුරු අවශ්‍ය සහයෝගය ලබාදීම ඉදිරියටත් සිදුකරන ශ්‍රී ලංකා නාවික හමුදාව බවට තහවුරු කරයි.