මුහුදු සුළඟ නිසා ආපදාවට ලක් වූ නෞකාවේ යළිත් ගිනි දැල් - නාවික හමුදාව

සැප්තැම්බර් 08, 2020

අයහපත් කාලගුණය හේතුවෙන් MT New Diamond නෞකාවේ යළිත් ගිනිදැල් ඇති වී ඇති  බව නාවික හමුදාව පවසයි.

නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා අයහපත් කාලගුණය නොසලකා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටී.

දිවයිනට පැමිණි මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් සහ ආපදා කළමණාකරන විශේෂඥයින්ගෙන් යුත් කණ්ඩායම ද ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගොස් ආපදා කළමණාකරන මෙහෙයුම් හා එක්ව සිටින  බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවට පවසන පරිදි , අද දිනයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දේපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් වර්ගයේ ගුවන් යානයක් දහන අපෝෂක රසායනික ද්‍රව්‍යක් වන Dry Chemical Powder (DCP) තොගයක් සමඟ ඉන්දීයාවේ   සිට මෙරටට පැමිණීමට නියමිතය.

නෞකාවේ ඇති තෙල් සංචිත වෙත පැතිරයාමට හෝ නෞකාවෙන් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් පැන නැගී නොමැති බව නාවික හමුදාව විසින් තහවුරු කරන අතර මෙම ආපදාව හේතුවෙන් සාගර පරිසරයට කිසියම් හානියක් සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පර්යේෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් නාවික හමුදා යාත්‍රාවන් මගින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස් ජල නියැදි පරීක්‍ෂා කිරීමට නියමිතය.