යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද නව යුනිබෆල් මාලි දේශයේ පෙරහුරුවක

සැප්තැම්බර් 25, 2020

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නවීකරණය කරන ලද යුනිබෆල් 9 ක්, නව ආපදා රථයක්  සහ බහාලුම් 3 ක් මාලි හි එක්සත් ජාතීන්ගේ  සාම සාධක මෙහෙයුම් වල භාවිතය සඳහා මාලි වෙත යවන ලද අතර මේ වන විට එම රථ මාලි හි දුෂ්කර  භූමි ප්‍රදේශවල පෙරහුරු  සඳහා යොදවා  ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු භටයින් විසින් නිෂ්පාදනය කරන ලද යුනි-බෆල් යුනිකෝන්වල වැඩිදියුණු කළ රථයක් බව  යුද හමුදාව පවසයි.

බටහිර අප්‍රිකාවේ දුෂ්කර ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ රාජකාරි කටයුතු  සඳහා යෙදවීමට  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා විසින්  මෙම නවරථ මෑතකදී  මුහුදු මගින් ප්‍රවාහනය කිරීම සඳහා භාර දෙන ලදි .

මේ වන විට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන් 20 ක් සහ අනෙකුත් නිලයන් 223 ක් ඇතුළුව රණවිරුවන් 243ක් සහ වාහන 65 ක් මාලි හි සේවය සඳහා යොදවා ඇත.

මෙම නව බලඇණිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මෙහෙයුම් සඳහා දැනට ඔවුන්ගේ පවතින බලඇණිය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් සහාය වනු ඇත.