වෙසක් සමයේ සාමකාමී වාතාවරණයක්

මැයි 21, 2019

වෙසක් සමය තුල දිවයිනේ ඉතා සාමකාමී වාතාවරණයක් පැවති අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් වී තිබිණි. කෙසේ වෙතත්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් සහ පරීක්ෂණ කටයුතු නියමිත පරිදි සිදුකරනු ලබයි. මේ වනවිට පාස්කු ඉරිදා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 69 දෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ද තවත් සැකකරුවන් 20 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාශය යටතේ ද රඳවාගෙන පරීක්‍ෂණ කටයුතු සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳුදා (මැයි 20) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණය කර තිබේ.

ලද තොරතුරක් අනුව කුරුණෑගල, අලකොලදෙනිය ප්‍රදේශයේ පොල් ඉඩමක පුද්ගලයින් පිරිසකට පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි මස 09 වන දින ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන් මැයි මස 24 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී. සිදුකරන ලද විමර්ශන වලින් පසු තවත් පුද්ගලයින් දෙදෙනෙකු මැයි 11 වන දින අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක පුද්ගලයෙකු සන්තකයේ තිබී නොයෙකුත් වටිනාකම් වලට ලියන ලද චෙක්පත් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත. අනෙක් සැකකරු කුරුණෑගල රෝහලේ සේවකයෙකි. ඔහුගේ ගිණුමට වරින් වර විවිධ පුද්ගලයන් විසින් විශාල මුදල් ප්‍රමාණයක් බැරකර තිබේ.

මෙම පුහුණු කඳවුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තවත් පුද්ගලයෙකු පසුගිය 18 වනදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා පාර්ලිමේන්තුවේ සුචිගතකිරීමේ නිලධාරියෙකු ලෙස සේවය කරයි. ඔහු තවදුරටත් ප්‍රශ්නකිරිම සඳහා රඳවාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

“මරාගෙන මැරෙන දිවුරුම දුන්නේ කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක දී, අයි එස් ත්‍රස්තවාදී සහරාන් ගේ බිරිඳ පොලිසියට කල පාපොච්චාරණය” යන මාතෘකාව යටතේ පසුගිය මැයි 12 වනදා එක්තරා ජාතික පුවත්පතක පිටුවක් පුරා පළවූ ලිපියක් පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිය අදහස් දැක්විය. මෙම පුවත පොලිසිය විසින් නිල වශයෙන් නිකුත්කළ පුවතක් නොවන බව ඔහු වැඩිදුරටත් පැවසිය. එවැනි ප්‍රවෘත්ති වාර්තා මගින් දැනට සිදුකරමින් පවතින විමර්ශන කටයුතු වලට සහ නීතිමය ක්‍රියාමාර්ගවලට බාධාවක් එල්ල විය හැකි බව ද ඔහු පැවසීය. මෙවැනි ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී තහවුරු කල පුවත් පමණක් වාර්තා කිරීමට වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වාර්තාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.