2020 IPSC තියුණු වෙඩික්කරුවන්ගේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ඔක්තෝම්බර් 08, 2020

ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය විසින් සංවිධානය කල මහනුවරදී පැවති ‘තියුණු වෙඩික්කරුවන්ගේ ශූරතාවලිය- 2020’ ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය.

මහනුවර හන්තාන “හිල් කන්ට්‍රි ස්පොර්ට්ස්” වෙඩි පිටියේ පැවති තරඟාවලියේදී ගුවන් හමුදා  වෙඩික්කරුවන් රන් 11 ක්, රිදී 9 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනා ගත්හ.

IPSC ‘තියුණු වෙඩික්කරුවන්ගේ ශූරතාවලිය - 2020’ යනු ජාත්‍යන්තරව පිළිගත් ‘තුන්වන මට්ටමේ’ තරඟාවලියක් වන අතරම මෙමගින් එළඹෙන ජාත්‍යන්තර ශූරතා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ජාතික මට්ටමේ වෙඩික්කරුවන් තෝරා ගැනේ.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු දිවයිනේ වෙඩි තැබීමේ සමාජ 16 ක දක්ෂතම වෙඩික්කරුවන් 183 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කාණ්ඩ තුනක් යටතේ පැවති මෙම ඉසව් 27 සඳහා නිලධාරියෙකු, ගුවන් භටයින් 14 දෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළේය.