ශ්‍රී ලංකා යුද හමුදාවට 71 වසරක් සපිරේ

ඔක්තෝම්බර් 10, 2020

1949 ඔක්තෝබර් 10 වන දින ලංකා හමුදාව ලෙස ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාව  එහි 71 වන සංවත්සරය අද (2020 ඔක්තෝබර් 10) දින සමරනු ලබයි.

වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුම රණවිරුවන්ට හා යුද්ධ හමුදාවේ සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයින්ට මෙන්ම සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සංවත්සර දිනයේ සිය සුබපැතුම් පිරිනැමූවේය.

තවද, යුද හමුදා දිනයට සමගාමීව නිලධාරීන් 514 දෙනෙකුට උසස්වීම් ලබාදීම පිළිබඳව ඔහු ජනාධිපතිතුමාට විශේෂ ස්තූතිය පුද කළ අතර එම නිලධාරීන්ට හා යුද හමුදා දිනයට සමගාමීව 14140 උසස්වීම් ලබා ඇති සෙසු නිළයන්ට සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව සිය පළමු නිත්‍ය බලකාය  බ්‍රිගේඩියර් රොඩරික් සින්ක්ලෙයාර්ගේ (Brigadier Roderick Sinclair) අණදීම යටතේ ආරම්භ කරන ලදී. පසුව දියතලාව ප්‍රදේශයේ යුද්ධ හමුදා විද්‍යාපීඨය පිහිට වූ බ්‍රිගේඩියර් අන්ටන් මුතුකුමරු, එවකට ලංකා හමුදාවේ පළමු හමුදාධිපති ලෙස රාජකාරි ඇරඹූහ.

රෙජිමේන්තු 24 කින් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදාව, ජාතික ආරක්ෂක තර්ජන, ව්‍යසන සහ හදිසි අවස්ථා වලදී අසමසම සේවාවන් සපයයි.

මාතෘභූමියේ ආරක්‍ෂාව උදෙසා සිය දිවි හිමියෙන් කටයුතු කරමින් සේවයට කැපවූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත යුද හමුදාව වඩාත්ම ජනතා හිතකාමී ලෙස සියලු ජනවර්ගයන්ගේ හදවත්  දිනා ගනිමින් ජාතිය ගොඩනැගීමේ කාර්යයන්, නැවත වන වගාව, මානුෂීය ව්‍යාපෘති සහ ඉදිකිරීම් යනාදී විවිධ ප්‍රවර්ධන කටයුතුවල නිරත වෙමින් ජාතියට සිය සේවාවන් අඛණ්ඩව කරගෙන යයි.  

අද වන විට අංග සම්පූර්ණ ආරක්ෂක හමුදාවක් බවට පත්ව  ඇති ශ්‍රී ලංකා යුද හමුදාවට මේ දක්වා හමුදාපතිවරු 23 දෙනෙකු විසින් සාර්ථකව අණ දී තිබේ.

රටේ COVID-19 තර්ජනය මැඩපැවැත්වීම සඳහා සහෝදර සේවා සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ ඒකාබද්ධව සාර්ථක නිරෝධායන යාන්ත්‍රණයට යුද හමුදාව විසින් විශාල දායකත්වයක් ලබා දේ.

71 වන යුද හමුදා දින (2020 ඔක්තෝබර් 10) වැඩසටහන් කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමීමට සිදුවිය.