ඉදිරි දින කිහිපය තුළ වැසි සහ සුළං තත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

ඔක්තෝම්බර් 10, 2020

දිවයින පුරා සුළං සහ වැසි තත්ත්වය තාවකාලිකව ඉහළ යාමක්  පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාව දැනුවත් කරන අතර නිරිතදිග මෝසම් වැසි හේතුවෙන් විශේෂයෙන් අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග ප්‍රදේශ හරහා එම තත්වයන් ඇතිවිය හැකි බවට දැනුම් දෙනු ලැබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල සහ ගාල්ල,  මාතර දිස්ත්‍රික්කවල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මිලිමීටර 75 ට වඩා තරමක් අධික වර්ෂාපතනයක් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතිවිය හැක .උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක දහවල් හෝ රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින පුරා පැයට කිලෝමීටර 50-60ක් පමණ වන තද සුළං අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ඇතිවන  තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවයි.

අඩු පීඩන සහ අවපාතයක් වර්ධනය වීම හේතුවෙන් ඔක්තෝබර් 13 වන දින දක්වා උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශවලට ඉහළින් මුහුදු ප්‍රදේශයට නොයන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට සමුද්‍රීය  කාලගුණ අනාවැකිය මගින්  දැනුම් දෙයි.