අධික වර්ෂාව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

ඔක්තෝම්බර් 13, 2020

නුවරඑළිය , මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල  සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවන අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මද වැසි ඇතිවිය හැකිය.

දිවයින පුරා, විශේෂයෙන් උතුරු, උතුරු-මධ්‍යම හා වයඹ පළාත්වල, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර 50-60ක් පමණ තද සුළං අපේක්ෂා කළ හැකිය.

බෙංගාල මුහුදු කලාපයේ බටහිර-මධ්‍යම බොක්කෙහි ඇති වූ අවපීඩන තත්වය හේතුවෙන් ඔක්තෝබර් 14 වන දින දක්වා උතුරු අන්දමන් මුහුදු ආශ්‍රිත ප්‍රදේශවලට නොයන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට සමුද්‍ර කාලගුණ අනාවැකිය මගින්  අනතුරු අඟවයි.

ඔක්තෝබර් 14 වන දින දක්වා ගාල්ල  සිට පොතුවිල් දක්වා මාතර සහ හම්බන්තොට හරහා මුහුදු ප්‍රදේශවලට යාම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.