නාවික හමුදාව නෞකා දෙකකට සමුදේ

ඔක්තෝම්බර් 14, 2020

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය   සඳුදා ( ඔක්තෝබර් 12) දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් මෙම නෞකා රට වෙනුවෙන්  අනභිභවනීය සේවයක් ඉටු කර ඇත.

1980 දශකයේ මුල් භාගයේ පළමු ඊලාම් යුද්ධය ආරම්භ වීමත් සමඟ අතිශය කාර්යබහුල වූ මෙම නෞකාවන් වෙතින් කරෙයිනගර් දූපත ආශ්‍රිත මුහුදේ සිදු වූ අවි ජාවාරම් සහ ත්‍රස්ථ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා සිදු වූ දායකත්වය  බෙහෙවින් වැදගත් විය.  

යුධ නෞකාවන් අධිකාරියෙන් ඉවත් කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ව අනුමැතිය මත සිදු කරන ලදි.

1972 සහ 1980 දී ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ අධිකාරියට   පත් කරන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ නෞකාව ‘Her Majesty’s Ceylon Ship Weeraya’ ලෙස පලමුව  අධිකාරියට පත්ව  ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ ලෙස අධිකාරියට පත්කරන ලදී.

නෞකාවන්ගේ දිගට සමාන වන ලෙස සකස් කරන ලද එම නෞකා අධිකාරියට පත් කිරීමේ ධජය (Commissioning Pennant) සංකේතවත් කරනු ලබන Paying off Pennant ධජයන් නැව් මුළුවේ සාමාජිකයින් ගණනට සමාන කොටස් වලට වෙන් කොට නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකා ද්විත්වයේ නැව් මුළු වෙත ලබා දෙන ලදි.

1961 දී මහජන චීන සමූහාණ්ඩුවේ නිෂ්පාදනය කරන ලද මෙම නැව් දෙක දශක හතරකට අධික කාලයක් පුරා කළ ප්‍රශංසනීය සේවාවකින් පසුව සේවයෙන් ඉවත් කරන ලදී.

මෙම නෞකා ද්විත්වය නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසුව ඉදිරි දිනකදී ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කෘතිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට නියමිතය.

කොරෝනා වෛරසය පැතිරීම  වැළැක්වීමේ පියවරක් ලෙස සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව සියලුම උත්සව කටයුතු සංවිධානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා 1980 ජනවාරි 01 වන දින සිට 1981 ජනවාරි 25 වන දින දක්වා එවකට ‘වීරයා’ නෞකාවේ හයවන (06) අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජේටීජී සුන්දරම්   නිලධාරියා විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගි විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් වයිඑම්ජීබී ජයතිලක, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල, ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා සහ  ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකා අණදෙන නිලධාරීන්, නාවික හමුදා   ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.