යාපනය යුද්ධ හමුදා භටපිරිස් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවකට සහ අසරණ පවුලකට නිවාස ඉදිකර දෙයි

ඔක්තෝම්බර් 23, 2020
  • දකුණේ පරිත්‍යාගශීලින් මේ සඳහා සහයෝගය දක්වයි.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පරිත්‍යාගශීලින්ගේද සහාය ඇතිව සිය මානුෂීය ආධාර ලබාදීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස දෙකක් පසුගියදා පැවතී චාම් උත්සවයකදී පරිත්‍යාග කරන ලදි.

එම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර සහ පරිත්‍යාගශීලීන් සහභාගී වුහ.

එක් ප්‍රතිලාභියෙකු වූ වැන්දඹු කාන්තාවක් වන වලිපුරම්හි කේ. සුදාකර් මහත්මියට දරුවන් දෙදෙනෙකු සිටින අතර, ඇය හිටපු එල්ටීටීඊ සාමාජිකාවකි. අනෙක් ප්‍රතිලාභියා යාපනයේ එස්. රන්ජන් නන්දනී මහත්මියද උපකාර අවශ්‍යව සිටි කාන්තාවකි.

551 බලසේනාවේ, 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ 16 වන ශ්‍රි ලංකා පාබල හමුදා සාමාජිකයින් විසින් නිවාස ඉදිකිරීම සඳහා ශ්‍රමය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන් අතර, දකුණේ බැංකු කරුවෙකු වන කුමාර් වීරසූරිය මහතා සිය සගයන් සමඟ මෙම මූල්‍ය ආධාර සැපයීය.

අනුග්‍රාහකයින් සහ භට පිරිස් එක්ව නිවාස දෙකටම අවශ්‍ය ගෘහ උපකරණ තොගයක් සහ භාණ්ඩ කිහිපයක් තෑගි කළහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා මහා සංඝ රත්නය ඇතුළු ආගමික පූජකවරුන්, කරවෙඩ්ඩි අතිරේක ප්‍රාදේශීය ලේකම්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති සහ පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සුභ පතන්නන් සහ හමුදා සාමාජිකයින් සහභාගී වුහ.