රුපියල් මිලියන 29 කට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට

ඔක්තෝම්බර් 31, 2020

නාවික හමුදාව පසුගිය සතිය තුල සිදුකල විශේෂ මෙහෙයුම් මගින් රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක් සමගින්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950ක් (Crystal Methamphetamine) සහ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය විසින් ඔක්තෝම්බර් 29 වන දින කරෙයිනගර්, කෝවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා  කිරීමට යාමේදී මළු කිහිපයක් මුහුදට දමමින් එම ඩිංගි යාත්‍රාව කරෙයිනගර් කසුරිනා වෙරළ දෙසට යාත්‍රා කරන ලද අතර, පසුව සිදුකල සෝදිසියේදී කසුරිනා වෙරළේ අතහැර දමා ගොස් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදි. එම මුහුදු ප්‍රදේශයේ සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී කේරල ගංජා කිලෝ 82ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් (තෙත බර) අඩංගු උර 04ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, නාවික භාරයට ගත් ඩිංගි යාත්‍රාවේ හිමිකරු සෙවීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ.

ඔක්තෝම්බර් 26 වන දින උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මන්නාරම පුදුකුඩුයිරිප්පු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, සැකකටයුතු යතුරු පැදියක් පරික්‍ෂා කර කේරළ ගංජා කිලෝ 04 ග්‍රෑම් 450ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු, කේරල ගංජා සහ එම යතුරු පැදිය සමගින් අත්අඩංගුවට ගන්නා ලදි. එමෙන්ම තලෙයි මන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 765ක් බරැති පාර්සලයක් සොයා ගන්නා ලද අතර, නරුවිලිකුලම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 50ක් පමණ බරැති පාර්සල් තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල පමණක් සිදුකල මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් කේරල ගංජා තොගයේ මුළු වටිනාකම රුපියල් 296,145,00.00 පමණ (මිලියන 29.61) වන බවට විශ්වාස කෙරේ.

තවද, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් අත්අඩංගුවට ගන්නා ලද මෙ‍ම පුද්ගලයන් වයස අවුරුදු 34 සහ 39 වයසේ පසුවන පේදුරුතුඩුව, උරණි සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. අත්අඩංගුවට ගත් සැකකරුවන්, කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, තලෙයිමන්නාරම, මන්නාරම, වංකාලේ සහ වැල්වැටිතුරේ පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.

උපුටාගැනීම - Navy.lk