මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා සේවයෙන් විශ්‍රාම ගැන්වූ නෞකා දෙකක්

ඔක්තෝම්බර් 31, 2020

පසුගියදා නාවික සේවයෙන් විශ්‍රාම ගැන්වු  ශ්‍රී ලංකා නාවික නෞකා දෙකක් වන ‘වීරයා’ සහ ‘ජගතා’ මෑතකදී  ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් කිරීමට කටයුතු කරන ලද අතර, ඒවා කෘත්‍රීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා රුකුලක් වේ.

නැගෙනහිර නාවික විධානය විසින් මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරන ලද අතර එය නිසැකවම අනාගත කිමිදුම්කරුවන් ආකර්ෂණය වන කෘත්‍රීම කඳු වැටි බවට පරිවර්තනය වනු ඇත.

නැව් සුන්බුන් ප්‍රධාන මත්ස්‍ය අභිජනන භූමි වන අතර මෙවැනි බොහෝ කෘත්‍රීම ගල්පර සමුද්‍ර ජීවීන්ගේ වාසස්ථාන ලෙසට ආකර්ෂණය කර ගන්නා බව ප්‍රකට කරුණකි.

බෝහෝ මත්ස්‍ය විශේෂයන් මෙලෙස දිය යට ගිල්වන ලැබූ ව්‍යුහයන්හි රැකවරණය පතති.

නෞකා ද්විත්වයේ ප්‍රයෝජනයට ගතහැකි සියලු යාන්ත්‍රික කොටස් නෞකාවන්ගෙන් ගලවා ඉවත් කර, සාගරික පරිසරයට හිතකර වන ලෙස ඒවා සකස්කර ඇති බවට නාවික හමුදාව තහවුරු කරයි.

ඒ අනුව ‘වීරයා’ (P 311),  ත්‍රිකුණාමලය ‘රොකී පොයින්ට්’ (Rocky Point) සහ ‘සැන්ඩි බේ’ (Sandy Bay) වෙරළ තීරය අතර වූ මුහුදු ප්‍රදේශයේද ‘ජගතා’ (P 315) ඊට යාබදව දියයට ස්ථානගත කරන ලද බව නාවික හමුදාව පවසයි.

මෙම නෞකා ද්විත්වය නාවික හමුදාව විසින් පසුගිය ජුලි මස ‘සැන්ඩි බේ’ මුහුදු තීරයේ විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දෙවන දිය යට කෞතුකාගාරයේ සිට මීටර් 25ක් පමණ ඊසාන දෙසට වන්නට දියයට ස්ථානගත කරන ලද බැවින් මේ වන විටත් දිය යට කෞතුකාගාරය ආශ්‍රිතව නිර්මාණය වී ඇති මත්ස්‍ය අභිජනන පරිසරය මෙම ‘වීරයා’ සහ ‘ජගතා’ නෞකා ආශ්‍රිත මත්ස්‍ය අභිජනන අඩවියක් පහසුවෙන් නිර්මාණය කිරීමට මහත් රුකුලක් වනු ඇත.

‘සැන්ඩි බේ’ මුහුදු ප්‍රදේශය අශ්‍රිතව නිර්මාණය වන මෙම නව සාගර පරිසර පද්ධතිය තුලින් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සඳහා ඉදිරියේදී වැඩි ආර්ථික ප්‍රතිලාභ හිමිකර ගැනීමට මෙන්ම නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට හැකිවීමෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවටත් මහඟු අවස්ථාවක් උදාවනු ඇතැයි නාවික හමුදාව අපේක්‍ෂා කරයි.