නිරෝධායන මධ්‍යස්ථාන යටතේ සිටින පුද්ගලයින් 228 දෙනෙකු සිය නිවෙස් බලා යාමට නියමිතයි

නොවැම්බර් 02, 2020

ඊයේ (නොවැම්බර් 01) වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයින් 397 දෙනෙකුද සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 11,060 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද  (02) දින වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 61,955 දෙනෙකු සිය නිවෙස් බලා පිටව ගොස් ඇති බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය (NOCPCO) පවසයි.

මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 7,582 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

කටාර්හි දෝහා සිට පැමිණි ශ්‍රී ලාංකික ජාතිකයන් තිදෙනෙකු රැගත් QR 668 කටාර් එයාර්වේස් ගුවන් යානය, අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (BIA) පැමිණ ඇති අතර ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කරයි.

මේ අතර, නිරෝධායනය යටතේ සිටින පුද්ගලයින් 228 දෙනෙකු නියමිත නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් පසු අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආපසු සිය නිවෙස්  බලා යාමට නියමිතය.

මහර ප්‍රදේශයේ වයස අවුරුදු 40 ක් වූ පිරිමි පුද්ගලයෙකුගේ මරණයත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් මරණ 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය සනාථ කරයි.

ඔහු අධික  රුධිර පීඩනය හා ශ්වසන පද්ධතියේ  ආසාදනය හේතුවෙන් වැලිසර  ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින්  සිටින අතරතුර  මියගොස් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොරෝනා වෛරසයට රෝගයට ගොදුරු වූ බව තහවුරු වූ අතර රට තුළ සමස්ථ කොරෝනා  මරණ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබේ.