පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

නොවැම්බර් 03, 2020

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම , මාවනැල්ල , බුලත්කොහුපිටිය යන  පොලිස් බලප්‍රදේශ සහ  ගලිගමුව ප්‍රදේශීය  සභා ප්‍රදේශය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල  පොලිස් බලප්‍රදේශය හුදෙකලා ප්‍රදේශ බවට පත් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (නොවැම්බර් 02) වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයින් 275 දෙනෙකුද සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 7,857 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

දෝහා කටාර් හා අබුඩාබි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 29 දෙනෙකු, අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කරයි.

මේ අතර, නිරෝධායනය යටතේ සිටින පුද්ගලයින් 15 දෙනෙකු නියමිත නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් පසු අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආපසු සිය නිවෙස්  බලා යාමට නියමිතය.

අද  (03) දින වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 62,917 දෙනෙකු සිය නිවෙස් බලා පිටව ගොස් ඇති අතර, පුද්ගලයින් 1082 දෙනෙක් ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක නිරෝධායන වන  බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.