නාවික හමුදාව විසින් ත්‍රිකුණාමල සාගරයේ ප්ලාස්ටික් සුන්බුන් ඉවත් කරයි

නොවැම්බර් 03, 2020

ත්‍රිකුණාමලය මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව විසින් දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 02 වන දින ක්‍රියාත්මක කෙරිණි.

ප්ලාස්ටික් හා පොලිතින් අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හා එහි ජෛව විවිධත්වයට සිදුවන හානිය වැළැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

පාවෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන් නොව, බොහෝ විට මුහුදු පතුලේ තැන්පත්ව  ඇති   ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිමිදුම් මෙහෙයුම් මඟින් ඉවත් කළ  යුතුය.

ප්ලාස්ටික් හා පොලිතින් කුණු කසළ  බරින් සැහැල්ලු බැවින් මුහුදු රළ සමඟ වරින් වර වෙනත් තැන්වලට පැතිරෙයි.

සමුද්‍ර ජීවීන් සහ මුහුදු පක්ෂීන් ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සිරවන කුඩා  ප්ලාස්ටික් කැබලි හේතුවෙන්  මිය යති.

මේ අතර, සමහර උප ජලජ සාගර ජීවීන්   පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා පැටලීමෙන් ඔවුන්ගේ ආයු කාලයෙහි අඩු වීමක්  සිදු වේ.

අනාගත පාරිසරික ව්‍යසනය පිලිබඳ මනා අවබෝධයෙන් යුතුව, වෙරළ තීරයේ සහ මුහුදු තීරයේ පිරිසිදුකම සහතික කිරීම සහ සමුද්‍ර පරිසර පද්ධතිවලට හා එහි ජෛව විවිධත්වයට සිදුවන හානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ ක්‍රියාදාමයන්  පුළුල් කර ඇත.

මෙම වැඩසටහනේදී නැගෙනහිර නාවික විධානය  මගින්   කෝනේෂ්වරම් සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහල දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණි.

නැගෙනහිර නාවික විධානයේ කිමිදුම් කණ්ඩායම විසින් වෙරළ තීරයේ තැන්පත්ව හා පාවෙමින් තිබූ ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු සමුද්‍රීය සුන්බුන්  විශාල ප්‍රමාණයක් එකතුකර ගන්නා ලදි.

සමුද්‍ර අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ වැඩසටහනට ත්‍රිකුණාමල පොලිසියේ කණ්ඩායමක් ද එක්විය.