මිනුවන්ගොඩ පොකුරේ ආසාදිත පුද්ගලයින් 332 දෙනෙකු සුවය ලබයි

නොවැම්බර් 04, 2020

පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 409 දෙනෙකු කොවිඩ් - 19 වෛරසය  ආසාධිත බව  වාර්තා වී ඇති අතර, ඔවුන් සියල්ලන්ම දේශීයව හඳුනාගත් රෝගීන් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද උදෑසන (4)  ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 11,744 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 8,266 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 1,041 දෙනෙකු ඇඟලුම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වන අතර 7225 ක් ඔවුන්ගේ ආශ්‍රිතයින් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

නිරෝධායන කාල සීමාව අවසන් වන  පුද්ගලයින් 34 දෙනෙකු අද දින නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආපසු සිය නිවෙස් බලා යාමට අපේක්ෂා කෙරේ.

අද  (4) දින වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 63,223 දෙනෙකු සිය නිවෙස් බලා පිටව ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය කරන නිරෝධායන මධ්‍යස්ථාන 34 ක පුද්ගලයින් 2,776 ක් හුදකලා කර ඇත.

ඊයේ (3) දිනය ඇතුළත රට පුරා PCR පරීක්ෂණ 10,466 ක් සිදු කර ඇති අතර මෙතෙක් සිදුකර ඇති මුළු PCR පරීක්ෂණ ගණන 546,803 කි.

සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් රෝගීන් 332 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස්  තිබේ. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයෙහි යෙදී සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිත සේවකයින්ගේ ආශ්‍රිතයින්  ලෙස හඳුනාගෙන ඇත.

මගී ගුවන් යානා මෙරටට පැමිණීමක් වාර්තා වී නොමැති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කරයි.

කොළඹ ජම්පටා වීදියේ පදිංජි වයස අවුරුදු 68 ක් වයසැති කාන්තාව  කොරෝනා   මරණයක් ‍ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සනාථ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා  මරණ 22 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ   ඊයේ (3) නිවේදනය කළේය.

එම කාන්තාවගේ  මරණයට ආසන්නතම හේතුව කොවිඩ් නියුමෝනියාව ලෙස සඳහන් කර ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් එය රට තුළ වාර්තා වූ 22 වන කොවිඩ් - 19  මරණය ලෙස තහවුරු කර ඇති බව එහි සඳහන් වේ.