රාජ්‍ය සහාය ඇතිව යුද හමුදාව කහ වගා කිරීමේ ව්‍යාපෘතිය දියත් කරයි

නොවැම්බර් 07, 2020

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කහ සැපයුම හිඟවීම පිළිබඳව සලකා බලමින් යුධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය මෑතකදී අම්බලන්ගොඩ යුද හමුදා ගොවිපලෙහි කහ වගාව ආරම්භ කළේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ සංකල්පයට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

කහ යනු ආසියානු ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය ඖෂධීය වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය කුළුබඩු වර්ගයකි. ශ්‍රී ලංකාව වාර්ෂිකව කහ මෙට්‍රික් ටොන් 50,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරයි.

රාජ්‍ය අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය මඟින් කහ බීජ පැළ 100,000 ක් අම්බලන්ගොඩ කොහිලවගුරවත්ත යුද හමුදා ගොවිපලෙහි සිටුවීමට අපේක්ෂා කරන අතර, එහි වටිනාකම රු. මිලියන 4 ක් වන බව යුද හමුදාව පවසයි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදිය‍ර වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් හා එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමන්, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කදනාරච්චි ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (05) දින ආරම්භ කෙරිණි.

කහ බීජ වගා කිරීමේ ව්‍යාපෘතියේ මූලික අදියර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය විසින් මීට මසකට පෙර ආරම්භ කල අතර, ඔවුන් විසින් අම්බලන්ගොඩ කහ වගාව සාර්ථකව ඉදිරියට කරගෙන යනු ඇත.

කහ ව්‍යාපෘතියේ දෙවන අදියර බලල්ල හමුදා ගොවිපලෙන් ද, තෙවන අදියර රඹකැන්ඔය හමුදා ගොවිපලෙන් ද ආරම්භ කිරීමට අපේක්‍ෂා කෙරේ.

මේ වන විට යුද හමුදාව විසින් එළවළු, සහල්, බිත්තර, පලතුරු, කිරි නිෂ්පාදන සහ ධාන්‍ය වර්ග නිෂ්පාදනය කරයි.

තවද අක්කර 200 ක භූමි ප්‍රමාණයක් තුල මිරිස් , අක්කර 1000 ක පොල් , අක්කර 500 ක TJ අඹ වගා ව්‍යාපෘතිය සහ සිලාවතුර ප්‍රදේශයෙහි අක්කර 200 කින් යුත් කජු වගා ව්‍යාපෘතියක් ද මේ වනවිට ආරම්භ කර ඇත.

අමාත්‍යාංශයේ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ගොවිජන නිලධාරීන් සමාරම්භක උත්සවයට පැමිණ සිටියහ.