ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම්

නොවැම්බර් 07, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද (නොවැ. 07) නිකුත් කළ කාලගුණ වාර්තාවට  අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සහ සවස හෝ රාත්‍රී කාලයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

තවද, සමහර ප්‍රදේශවල මිලිමීටර 100 ට වඩා වැඩි තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ වාර්තාව පවසයි.

එබැවින්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන වැසි ස්වල්පයක් ඇති වන අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදේ වරුවේ මීදුම් සහිත තත්වයන් අපේක්‍ෂා කළ හැකි බව වාර්තාවේ සඳහන් වේ.

එහි සමුද්‍ර කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බටහිර, නැගෙනහිර, උතුරු හා වයඹ දිග මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස් වරුවේ හෝ රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සවස් වරුවේ හෝ රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං ඊසානදිගින් හෝ වරින් වර වේ. සුළං වේගය පැයට කිලෝමීටර (10-20) වේ.

සමුද්‍ර කාලගුණ වාර්තාව අනුව දිවයින අවට මුහුදු ප්‍රදේශ සාමාන්‍ය වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකිය.