හුදකලා ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කෙරේ

නොවැම්බර් 09, 2020

බස්නාහිර පළාත සහ තවත් ප්‍රදේශ කිහිපයක පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අද (නොවැම්බර් 9) ඉවත් කරන ලදි.

කෙසේ වෙතත්, කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය සහ පානදුර වෑකඩ බටහිර ග්‍රාම සේවා වසමට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ කුරුණගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 25 ක් හුදකලා කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

මේ අතර, ඉලිප්පුගෙදර සහ කඩවීදිය ග්‍රාම නිලධාරි වසම් හැර, කුරුණෑගල මහ නගර සභාවේ සියලුම ප්‍රදේශවල හුදකලා කිරීමේ නියෝග ඉවත් කර ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව අද (9) සවස නිවේදනය කළේය.

තවද, ගලගෙදර, හම්මලෑව සහ ඉහල කළුගොමුව ග්‍රාම නිලධාරි වසම් හැර කුලියාපිටිය පොලිස් කොට්ඨාශයේ සියලුම ප්‍රදේශවල හුදකලා නියෝග ඉවත් කරන ලදි.

කදාන සහ මහබාගේ පොලිස් කොට්ඨාශයට අයත් ප්‍රදේශ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන ලදි.

හුදකලා ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය දැඩි ලෙස බලාත්මක කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

හුදකලා ප්‍රදේශ හරහා ගමන් කිරීමට වාහනවලට අවසර දෙනු ඇත. නමුත් ඒවා නැවැත්වීමට ඉඩ නොදෙන අතර මෙම හුදකලා ප්‍රදේශවලින් මගීන්ට නැගීමට හෝ බැසීමට තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව නිමකළ පුද්ගලයින් 63,921 ක් මේ වන විට නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 27 ක පුද්ගලයන් 2,409 ක් නිරෝධායනයේ පසුවන බව COVID -19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඊයේ PCR පරීක්ෂණ 10,632 ක් සිදුකිරීමත් සමඟ (8) රට තුළ සිදු කරන ලද මුළු PCR පරීක්ෂණ ගණන 602,850 කි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව, අද දිනයේ (9) දේශීයව වාර්තා වී ඇති කොරෝන වෛරසය ආසාදිත පුද්ගලයින් 510 දෙනා සමග දිවයිනේ කොරෝන වෛරසය ආසාදිත පුද්ගලයින්  ප්‍රමාණය 13,929 දක්වා වැඩි වී ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා පොකුරු සංඛ්‍යාව 10,451 ක් වන අතර ඔවුන්ගෙන් 1,041 ක් කර්මාන්තශාලා සේවකයින් වේ.

COVID -19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව, කොරෝන වෛරසය ආසාදිත රෝගීන් 562 කු රෝහල්වලින් මුදා හැර තිබේ.