යුද්ධ හමුදා රෝහලට රුපියල් මිලියන දෙකක් වටිනා ජෛව ආරක්‍ෂණ කැබිනට්ටුවක් පරිත්‍යාග කෙරේ

නොවැම්බර් 11, 2020

කොළඹ යුද්ධ හමුදා රෝහලට ඊයේ (නොවැම්බර් 10) රුපියල් මිලියන 2 ක් පමණ වටිනා ජෛව ආරක්‍ෂණ කැබිනට්ටුවක් පරිත්‍යාග ලෙස ලැබී ඇත.

මෙම ජෛව ආරක්‍ෂක කැබිනට්ටුව මගින් එහි ක්‍රියාකරු,  රසායනාගාර පරිසරය මෙන්ම සාම්පල බාහිර පරිසරය සමඟ ප්‍රතික්‍රියා කිරීම වළක්වා ආරක්‍ෂිත පරිසරයක් ගොඩ නැගීම සිදුවේ.

එය ක්‍රියාකරුවන්ට වඩාත් සුවපහසු හා ආරක්ෂිත සේවා තත්වයක් සපයන අතර එය රෝහල්වල බහුලව භාවිතා වේ.

මේ වනවිට යුද්ධ හමුදා රෝහලේ PCR රසායනාගාරයේ දිනකට PCR පරික්‍ෂණ 500 ක් පමණ සිදුකරනු ලැබේ.

බෞද්ධයා රූපවාහිනි නාලිකාව සහ සම්බෝධි විහාරයේ දායක සභාවේ අනුග්‍රහයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.

නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත මෙය පරිත්‍යාගය භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්‍ෂ සහ සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ හිමියන්, දායක සභාවේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් (වෛද්‍ය) සංජීව මුණසිංහ, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, යුද්ධ හමුදා රෝහලේ කළමණාකාර අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වජිර කාරියවසම්, හමුදා මාධ්‍ය ප්‍රකාශක හා යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගී වූහ.