මාලි හි ශ්‍රී ලංකා රණවිරුවන්ගේ වෘත්තීමයභාවය ඇගයේ

නොවැම්බර් 12, 2020

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරි, මාලි  හි  යොදවා ඇති ශ්‍රී ලංකා භට පිරිස්වල  ක්‍රියාකාරිත්වය, ඉහළ මට්ටමේ වෘත්තීයභාවය සහ සියලු මට්ටම්වල විනය පිළිබඳව ප්‍රශංසා කළේය.

ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩය, 2020 ඔක්තෝබර් මස 13 දින දක්වා සංග්‍රාමික රථ ආරක්‍ෂක මෙහෙයුම් 14 ක් සාර්ථකව සිදුකර ඇත

මෙම මෙහෙයුම් වලදී වැඩිදියුණු කර මහා මාර්ගවල වළලා තිබු පුපුරණ ද්‍රව්‍ය ස්ථාන 10 කදී ශ්‍රී ලංකා භටයින්  විසින් සොයාගෙන ඒවා නිශ්ක්‍රිය කර ඇත. එහිදී හමුදාවට සහ මහජනතාවට කිසිදු හානියක් නොවීම සුවිශේෂි තත්ත්වයකි.

ලුතිනන් කර්නල් ශ්‍රීනාත් ගාල්ලගේ නායකත්වයෙන්  ශ්‍රී ලංකා භටයින් 2019 නොවැම්බර් 13 වන දින සිට නිලධාරීන් 20 දෙනෙකු සහ අනෙකුත් නිලයන් 223 දෙනෙකු සමඟ මාලි   හි රාජකාරියේ යෙදී සිටිති.

ප්‍රභූවරුන්, පරිපාලකයින්, සිවිල් වැසියන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ජීවිත බේරා ගැනීම සහ එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරට සහාය වීම සඳහා ශ්‍රී ලංකා හමුදා විසින් කරන ලද විවිධ පැවරුම් අතරතුර එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගාඕ නගරයේ සිට මේනකා නගරය දක්වා 05 කුත්, ගාඕ සිට මොප්ටි නගරය දක්වා 05 කුත් සොයා ගන්නා ලදී.

ඇතැම් පුපුරණ ද්‍රව්‍ය දුරස්ථ පාලක මගින් පුපුරවා හැරීමට සැලසුම් කර තිබු ඒවා විය.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරි සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකා   කඳවුරට පැමිණ මාලි හි සිය රාජකාරි ඉටු කරමින් සිටි ශ්‍රී ලංකා භටයින්ගේ විශිෂ්ඨ  සේවය සහ ඔවුන්ගේ කැපවීම  අගය කළහ.

පළමු ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ රාජකාරී සඳහා වර්ෂ 2017 දෙසැම්බ්ර් මාසයේදී යොදවා ඇත. පසුව, වර්ෂ 2019 නොවැම්බර් මස 13 වන දින වර්තමාන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය මාලි රාජ්‍ය බලා පිටත් කර ඇත.