වියලි කහ කිලෝ 800ක තොගයක් කල්පිටියෙදී නාවික හමුදා භාරයට

නොවැම්බර් 13, 2020

නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද (2020 නොවැම්බර් 12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාවට  අනුව, ජාවාරම්කරුවන් විසින් වියළි කහ තොග වෙන වෙනම පුරවන ලද ගෝනි 32 ක ඇසුරුම් කර තිබේ.

වයඹ නාවික විධානය මගින් සිදුකල  මෙම මෙහෙයුමෙදී  අදාල යාත්‍රාවන් තුල සිටි සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ   මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

සැකරුවන් වයස අවුරුදු 19 ත් 43 ත් අතර වයස් වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත්, එම සැකකරුවන්, වියලි කහ තොගය, ඩිංගි යාත්‍රාවන් සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

Sinhala.