යුද්ධ හමුදා වාහන යුද්ධ හමුදාවේම නිපදවයි

නොවැම්බර් 13, 2020

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව අලුතින් නිර්මාණය කරන ලද ගලි බවුසර්, වතුර බවුසර් සහ බහුකාර්ය ට්‍රක් රථ බ්‍රහස්පතින්දා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පරික්‍ෂාවට ලක් විය.

මෙම වාහන දේශීයව නිෂ්පාදනය කරන ලද අතර එමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට ඉතිරි විය.

මෙම ව්‍යාපෘතියට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග මෙන්ම යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකොන් විසින් අඛණ්ඩව දිරිගැන්වීම, සහාය හා මඟපෙන්වීම ලබා දෙන ලදී.

ලීටර් 5000 ක ධාරිතාවයකින් යුත් කිලෝ ග්‍රෑම් 9500 කින් යුත් නව ඩීසල් ගලි බවුසරය (UniCOLT GE), එහි එන්ජිම ජල සිසිලනය, ටර්බෝ ආරෝපණය, වායුසමීකරණය කරන ලද කැබින්, පසුපස කැමරාවක් සහිත ශ්‍රව්‍ය පද්ධතිය, ජීපීඑස්, එන්ජින් උනුසුම් අනතුරු ඇඟවීම ඇතුළු තවත් විශේෂිත අංග කිහිපයකින් සමන්විත වන අතර එහි මිල රුපියල් මිලියන 2.5 ක් පමණි.

එසේම, ලීටර් 8000 ක ධාරිතාවයකින් යුත් නව ජල බවුසරය රුපියල් මිලියන 1.5 ක වියදමින් නිෂ්පාදනය කරන ලදී. එමෙන්ම, රුපියල් මිලියන 1.1 ක වියදමින් නිපදවන ලද බහුකාර්ය ට්‍රක් රථය වායුසමීකරණය කරන ලද කැබින් වලින් සමන්විත වේ.

යුද්ධ හමුදාවේ අවශ්‍යතා අනුව විදේශීය මෙහෙයුම් අරමුණු කරගනිමින් මෙම වාහන අනාගතයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

Sinhala.