නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ

නොවැම්බර් 23, 2020

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවන අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ‘මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය’ සහ ‘තාක්‍ෂණ අමාත්‍යාංශය’ අලුතින් ගැසට් කරන ලද අමාත්‍යාංශ දෙක වනු ඇත.

2020 නොවැම්බර් 20 දිනැති ජනාධිපති ගෝඨභය රාජපක්‍ෂ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් නව අමාත්‍යාංශවල විෂය පථය පැහැදිලි කර ඇත.

මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ අරමුණ වන්නේ, සියලුම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සහ නිතීය හා සාමය පවත්වා ගැනීමයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මෙම අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත.

තාක්‍ෂණ අමාත්‍යංශයේ ප්‍රධාන විෂය පථය වන්නේ ප්‍රශස්ත තොරතුරු තාක්‍ෂණය ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුභ සාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය කාර්යක්‍ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීමයි.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන දහයක් ඒ යටතට ගෙන තිබේ.

Sinhala.