පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 485 ක්

නොවැම්බර් 26, 2020

පසුගිය පැය 24 තුළ  තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 502 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21,460 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනාම දේශීය ආසාදිතයින් වන අතර ඉන් 262 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද , 90 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද  සහ 46  ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17,934 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 12,014 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (25) PCR පරීක්‍ෂණ 10,400  ක් සිදුකර ඇති අතර අද උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී 485 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, දෝහා කටාර්හි  සිට පුද්ගලයින් 50 ක් සහ  ඕමාන් සිට පුද්ගලයින් 35 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

අද වන විට ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යනු ලබන   නිරෝධායන මධ්‍යස්ථාන 47 ක පුද්ගලයින් 4,894 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ කොළඹ 12 සහ පන්නිපිටිය ප්‍රදේශ වලින් වාර්තා වූ කොරෝනා  මරණ දෙකත්  සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබේ.